“සදාචාරාත්මක සමාජයේ මුදුන් මුල නුඹ…”
විශ්වීය සියල්ල අල්ලාහ්ගේ න්‍යායට අනුව ඇතිවූ බවත් එකී සියල්ල ආරම්භක අත්තිවාරමට අනුව ඉස්ලාම් බවත් මුස්ලිම්වරුන් ලෙස අප පිළිගන්නෙමු. එහෙත් සර්ව බලධාරී නිර්මාපකයා වූ අල්ලාහ් විසින් තමාගේ එක් විශ්මිත නිර්මාණයක් වූ මිනිසාට නිදහස් චින්තනයකට අයිතිය ලබාදෙමින් ස්ව චින්තන ශක්තිය මත තීරණ ගැනීමට අවස්ථාව ලබාදීමෙන් මෙකී තත්ත්වය මිනිසා මෙලොව ජීවත්වන්නා වූ කාලය තුළදී වෙනසකට බදුන් විය. තම තෝරා ගැනීමට හෝ පාරම්පරිකත්වය මත තමාට රිසි ආගමකට හා සංස්කෘතියකට නතුව ජීවත්වීම හේතුවෙන් මිනිසා ආගමික හා සංස්කෘතික වශයෙන් බෙදී ගියේය.
කෙසේ වුවද ආගමික හැඩගැස්වීමකට අනුව සංස්කෘතික රාමුකරණය තුළින් සමාජය තුළ ක්‍රියාකාරී වන මානවයා කාලානුරූපව හා අවස්ථානුරූපව අනුවර්ථනය වන බව අප දනිමු. එහෙත් එකී අනුවර්ථන විටෙක සමාජ හිතකරය. විටෙක අහිතකරය. එසේ වන්නට අර්ථවත් හා පැහැදිලි ආගමික මගපෙන්වීමත් ප්‍රායෝගිකව ජීවන ක්‍රියාවලියට බද්ධ කරගත හැකි සංස්කෘතික විනය හා ආචාර ධර්ම පද්ධතිය තුළින් ඇතිවන බලපෑමත් අති මහත්ය.
මෙසේ ගත්කල මිනිකු ලෙස උපදින සෑම පුද්ගලයෙකුම ආගමික ඥාණයකින් හෙබි අයෙකු විම වැදගත්ය. නමුදු ඔහු ආගම දත් අයෙකු වන්නේ ඔහු ආගම උගෙන ඒ අනුව ජීවත් වන විට පමණි. එමෙන්ම ඔහු පරම්පරාවට අනුව කෙතරම් වටිනා අර්ථවත් සංස්කෘතියකට හිමිකම් කීවද ඔහු ප්‍රායෝගික දිවියෙහි සංස්කෘතික හා ආගමික හැදියාවන් , සදාචාරයන් ක්‍රියාවට නොනගන්නේ නම් එකී පුද්ගලයාගෙන් සමාජ සුභසාධනයක් වන්නේ නැත.
“ අල්ලාහ්ගේ තරාදියෙහි (මිනුම් දණ්ඩෙහි) සදාචාරයන් (යහපත් ගති පැවතුම්) මෙන් බරැති කිසිවක් නොමැත. (අබු දාවුද් , තිර්මිදි) ”
“උසස්තම සදාචාරයන් සහිත පුද්ගලයෙක් ඔබ අතරින් උසස්තම කෙනෙක් වේ. (බුහාරි , මුස්ලිම් හා තිර්මිදි) ”
උක්ත හදීස් (නබි වදන්) තුළින් ඉස්ලාමය තුළ සදාචාරයට කෙතරම් උසස් තත්වයක් හිමිවන්නේ දැයි මනාව පැහැදිලි වේ. මෙලෙස සදාචාරය අගයන ඉස්ලාමය සදාචාරයේ අනබිභවනීය නිදර්ශනය ලෙස අල්ලාහ් ගේ අවසන් රසුල් මුහම්මද් (සල්) තුමාගේ සමස්ථ ජීවිතයම හුවා දක්වයි.
“උසස්තම සදාචාරයන් සහ යහපත් ගති පැවතුම් සම්පූර්ණ කරනු පිණිස මම එවනු ලැබුවෙමි. ”
යයි නබි (සල්) තුමා පැවසූ බවට අබු හුරෙයිරා (රලි) තුමා වාර්තා කල ඇති අයුරින් උක්ත කරුණ මනාව සාධනය වේ.
මෙවන් පසුබිමක ඉස්ලාමීය සංස්කෘතිය තුළින් තෝරාගත් වර්තමානයේ සමාජයෙන් ගිලිහී යන සදාචාරාත්මක අංග කිහිපයක් විමසීම කාලානුරූපීය.
- 1. ලජ්ජාවීම -
“ මිනිසුන් තම නබිවරුන් ගෙන් ඉගෙන ගත් දේශනාවලින් කොටසක් නම්, ලජ්ජාව පිළිබද හැගීමක් ඔබට නැත්නම්, ඔබ කැමති දෙයක් කරන්න. ( බුහාරි)”
- 2. දෙමාපියන්ට ගරු කිරීම
“තම දෙමාපියන්ට සාප කිරීම විශාලතම පාපයකි” යනුවෙන් නබි (සල්) තුමා වරක් පැවසුවේය. “තම දෙමාපියන්ට කෙනෙක් සාප කරන්නේ කෙසේද?” යයි සහභාවරුන් ප භාවරුන් එතුමාගෙන් විමසූ විට “මිනිසෙක් කෙනෙකුට සාප කළවිට ඒ තැනැත්තා හැරී මොහුගේ දෙමව්පියන්ට සාප කිරීමට යෙදෙයි ” යනුවෙන් නබි (සල්) තුමා පිළිතුරු දුන්නේය. (බුහාරි)
- 3. දෙමාපියන්ට සේවය කිරීම
“නින්දාවට හා පිළිකුල් බවට ඔහු පත්වූවා. නින්දාවට හා පිළිකුල් බවට ඔහු පත්වූවා. නින්දාවට හා පිළිකුල් බවට ඔහු පත්වූවා.” යයි දිනක් නබි (සල්) තුමා තෙවරක්ම පැවසුවේය. “කවුරු ගැනද සදහන් කරන්නේ” යැයි සහාබාවරුන් විමසූවිට “ මා පියන් දෙදෙනාම හෝ එයින් එක් කෙනෙක් මහළු වයසේ ඔහු සමග ජීවත්ව සිටි නමුත් , අපාය ගින්නට ගොදුරුවන දරුවෙක්.” යනුවෙන් නබි (සල්) තුමා පිළිතුරු දුන්නේය. (බුහාරි)
- 4. නෑ සබදතා ඇගයීම
“නෑ සම්බන්ධකම අල්ලාහ්ගේ ආශිර්වාදයන්ගෙන් කොටසකි. එය පෝෂණය කරන්නා අල්ලාහ්ගේ ත්‍යාග ලබයි. එය කපා හරින්නා අල්ලාහ්ගෙන් (ඈත්ව) කපා හරිනු ලබයි. (බුහාරි)”
- 5. අසල් වැසියන්ට යහපත් වීම
“ජිබ්රීල් (අලෛ) තුමා අසල්වැසියන් සමග කාරුණිකව සිටින ලෙස මට නිතර නිර්දේශ කල ප්‍රමාණයේ හැටියට, අසල්වැසියන් මාගේ උරුමකරැවන් බවට පත්වේදෝ කියා මට සිතුනි. (බුහාරි , මුස්ලිම් හා මාලික්)”
අල්ලාහ් වෙත මුළු මනින්ම රැදී සිටීමේ සිට උක්ත සදාචාරාත්මක අංග කෙරෙහි ඉස්ලාමය පැමිණෙන මාවතෙහි සදහන් කල යුතු වැදගත්ම සාධකය වන්නේ “ශ්‍රේෂ්ඨතම මුස්ලිම් පවුල” ය.
නිරන්තර සමාජය වෙත සාමය පැතිරවීම අරමුණ කර ගත් ඉස්ලාමය මගින් සමාජයට දායාද කරන්නේ වෛරය ක්‍රෝධය වැනි අයහපත් ලක්ෂණ වලින් මිදුණු පුද්ගලයෙකි. මෙකී සදාචාරාත්මක මිනිසා බිහිකිරීම අල්ලාහ්ගේ මග පෙන්වීමට අනුව මුස්ලිම් පවුල නම් වූ සමාජ ඒකකයේ සුවිශේෂී වගකීමකි.
ආදරණීය මව්වරුණි,
උක්ත වගකීම ඉටුකිරීමෙහි ලා මව් පාර්ශවයේ ඔබට ඇත්තේ අති විශාල කාර්යභාරයකි. පවුලේ නඩත්තුව වෙනුවෙන් රැකියාව සමග සටන් වදින පිය පාර්ශවයෙන් දරුවන් වෙත ගිලිහෙන ආදරයද බෙදමින් තක්වාවෙන් යුතු සදාචාර සම්පන් මිනිසා ගොඩ නැගීමට ඔබ ලබාදිය යුත්තේ අනුපමේය සහයකි. ඇතැමිවිට ඔබත් නවීන පන්නයට නතුවෙමින් සදාචාරය පසෙකලා දැන උගත් කම පමණක් හඹායන මවක් නම් මොහොතක් සිතන්න. මව්වරුණි ඔබ ඔේ දරුවාගේ සදාචාරය නොසලකා හැරීම තුළ අහිමිව යන්නේ අනාගත සමාජ අවශ්‍යතාවයකි.
මුහම්මදු (සල්) තුමාගේ ආදර්ශයන් ඔස්සේ ගොඩනැගෙන යහපත් සදාචාරාත්මක දරුවා සමාජ අවශ්‍යතාවයයි. උගත් කමින් ඵල ලබන්නට සදාචාරය පාවඩයක් වන බව සත්‍යයකි. එසේනම් ආදරණීය මව්වරුණි ඔබ ඔබේ දරුවා ජයග්‍රාහකයෙකු කරනා අතර තුර සදාචාරාත්මක දරුවෙකු සමාජ ගත කර සමාජ සුභසාධනය සදහා දායක වන්නට වග බලා ගත යුතුය. ඒ ඔස්සේ ඔබ අල්ලාහ් වෙතින් ඔබට පැවරී ඇති වගකීමක්ද නිසි ලෙස ඉටු කල අයෙක් ලෙස තෘප්තියක් ලබන අතරම ප්‍රතිලාභ ලබන්නියක්ද වේ.
සිතන්න… වගකීම විශාලය… නමුදු අල්ලාහ් ඔබට දුන් ශක්තිය අති විශාලය…. අල්ලාහ් ගෙන් ඔබ ලබන සහයෝගය අසීමිතය…
ඉදින්, මව්වරුණි මහත් වෙහෙසකින් ඔබ කුසින් බිහිකල දරුවා තක්වාවෙන් යුත් සදාචාරාත්මක දරුවෙකු ලෙස සමාජ ගතකිරීමේ කර්තව්‍ය අල්ලාහ් ගේ නාමයෙන් උපරිමයෙන් ඉටුකරන්න. සදාචාරාත්මක මාජය ගොඩනැගීම ඔබේ දෑගිලි අතරින් ගිලිහෙන්නට ඉඩ නොදෙන්න. මෙකී කර්තව්‍ය සාර්ථක කර ගැන්මට සදාතන ආදර්ශය ලෙස මුහම්මද් (සල්) තුමා ඔබේ හදවතෙහි ජීවමානය.
මව්වරුණි …
අල්ලාහ්ගේ නාමයෙන් අවදිව … සදාචාරාත්මක දරුවා ඔස්සේ සදාචාරාත්මක සමාජය ගොඩ නගන්නට ඔබේ දෑත් ශක්තිමත් කර ගන්න… අල්ලාහ්ගේ සහයෝගය ඔබ පසු පසින් නිරන්ත රැදේවි… ඉන් ෂා අල්ලාහ්…!!!
මව්වරුණි ,
ඔබ
“සදාචාරාත්මක සමාජයේ මුදුන් මූලය වන්නේ එවිටය….”
උම්මි හනා